
වර්තමානයේ කරලියට පැමිණ තිබෙන අලූත්ම කතාබහක් වන්නේ පොහොර සහනාධාර ගැටලූවයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවියාගේ ප‍්‍රධානතම අරමුණ වන්නේ හොඳ අස්වැන්නක් ලබා ගැනීමයි. හොඳ අස්වැන්නක් ලබා ගැනීමටනම් නියමිත කාලයේදී ඊට අවශ්‍ය පොහොර භාවිතා කල යුතුයැයි ගොවියෝ විශ්වාස කරති. පැවති රජය මගින් මෙතෙක් ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කර ඒ වෙනුවට මුදල් වව්චර්පත් ලබා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටී.
නව රජයක් තෝරාපත් කරගනු ලැබුවේ ජනතාවට සහන ලබාදෙන අරමුණෙනි. ජනතාව ද ඔවුන්ව පත්කරගනු ලැබුවේ පැවති රජයට වඩා යම් ප‍්‍රමාණයක හෝ සහනයක් නව රජයක් යටතේ ලැබේය යන විශ්වාසය මතය. නමුත් ගොවීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටුණා වැනි දෙයකි. ගොවීන් පවසන්නේ තමන්ට මෙතෙක් ලැබුණ පොහොර සහනාධාරය පැවති රජයන් මල් බන්දේසි මත තබා පිරිනැමු ඒවා නොවන බවත් තමන් සටන් කර උපවාස කර ලබා ගත් බවත් වත්මන් රජය එම සහනාධාර ක‍්‍රමයද කප්පාදු කර ඇති බවත්ය. මීට අමතරව තේ, කෙසෙල්, බුලත්, කෝපි, ඇතුළු අතිරේක බෝග වගාවන්ට ද ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කර තිබේ.
ආණ්ඩුව තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මගින් ඉදිරිපත්කර තිබුණේ මෙතෙක් ලබා දුන් පොහොර සහානාධාර ක‍්‍රමය කිසිදු වෙනසක් නොකොට ලබා දෙන බවයි. නමුත් මෙම පොරොන්දුව හුදෙක් පුස් වෙඩිල්ලක් බවට පත්කරමින් ඔවුන් තම මැතිවරණ පොරොන්දුව පසෙකලා නවතම ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබේ. මෙම ක‍්‍රමවේදය යටතේ පොහොර වෙනුවට මුදල් වවුචර්පතක් ලබාදෙන අතර මෙම පොහොර සහනාධාර මුදල් ලබාගැනීමේ දී ගොවීන්ට රජයේ වාණිජ බැංකුවක සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ”ගොවිජන බැංකුවේ” නව ගිණුමක් ආරම්භ කිරීම සහ සහනාධාර ඉල්ලූම් පත‍්‍රය සදහා ඉල්ලූම්කරුවන්ගේ ඡුායාරූපයක් ඇමිණිම ද අනිවාර්ය කර ඇත.
තවද වී ගොවිතැන සදහා හෙක්ටයාර් එකකට ලබාදෙන රුපියල් 25000 පොහොර සහනාධාර මුදල රජයේ ඕනෑම වාණිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ හැකියැයි රජය නිවේදනය කළත් ගොවි දිරිය නමින් වෙනත් ගිණුමක් ආරම්භ කළ යුතුබව ද මෙම ගොවි දිරිය ගිණුමක් සඳහා රුපියල් 100ත් 500ත් අතර මූලික තැන්පතුවක් අවශ්‍ය අතර ගොවිජන බැංකුවේ ආරම්භ කල යුතු ගිණුම සදහා රුපියල් 100ක මුදලක් අවශ්‍ය බව ද ගොවීහු මැසිවිලි නගති.
තත්ත්වය කෙසේ වෙතත් වපුරාගත් අස්වැන්න ආරක්ෂා කරනු වෙනුවට තමන්ට පොහොර සහානාධාරය නැතිවේ යන බියෙන් රජයේ වාණිජ බැංකුවල නව ගිණුම් ආරම්භ කිරීම සඳහා ගොවීන් පෝලීම් ගැසී සිටින ආකාරයක් දැකගත හැකිය. මෙලෙස ගිණුම් විවෘත කර මුදල් ලබා දී පොහොර මිලදී ගැනීම නියම කිරීම වෙනුවට පුරුදු ලෙසම පොහොර සහනාධාරය ලබා දෙන මෙන් ගොවීන් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලති.
මෙරට ඉතිහාසය අනුව ගොවියන්ට පොහොර සහනාධාරයක් ගෙවන්නට තීරණය කර ඇත්තේ 1962 වර්ෂයේදීය. සුළුවෙන් පටන් ගත් මෙම පොහොර සහනාධාර ක‍්‍රමය වර්තමානය දේශපාලන අතකොලූවක් බවට පත්ව ඇත. මෙම සහනාධාර ක‍්‍රමය රටට බරක් වන විට ආදාළ පාලක පන්තිය සිදු කරනු ලබන්නේ රසායනික පොහොර භාවිතය අවම කිරීමට යම් යම් පැලැස්තර යෙදීමය. නොයෙක් කොන්දේසි සකසා රසායනික පොහොර භාවිතය අවම කර කාබනික පොහොර භාවිතය වැඩි කිරීමය. 2016 අයවැය මගින් රුපියල් බිලියන 50ක මුදලක් මෙම පොහොර සහනාධාරය සඳහා වෙන් කරන බව යෝජනා ඉදිරිපත් කෙරුණත් ගොවීන්ට අවශ්‍ය පමණ පොහොර ලබා ගැනීම සඳහා වෙළඳපොලේ පොහොර හිඟයක් පවති.
වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා ද ගොවිතැනින් සශි‍්‍රක රජරට රාජධානීයේ ගොවියන්ගේ මනාපයෙන්ම මැතිසබයට පැමිණි අමාත්‍යවරයෙකි. නමුත් ඔහුගේ පිළිතුර අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය. අමාත්‍යවරයා පවසන්නේ පසේ සංයුතිය එක හා සමානව නොමැති බැවින් පොහොර භාවිතාව අඩුකල යුතු බවත් 1994 සිට පසට යොදන පොහොර භාවිතය අඩු කල බවත් කන්නයක් ඇර කන්නයක් රසායනික පොහොර භාවිතා කළ යුතු බවය. කෘෂිකර්ම අමාත්‍යවරයා පසේ සමානතාවය පරික්ෂා කිරීමට පෙර තම ගොවි ජනතාවගේ ගැටලූ විසදීම සිදු කළයුතු නොවේ ද?
ගැටලූව උග‍්‍ර වීමත් සමඟම මේ සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද සම්බන්ධ වී තිබේ. ජනතාවට මතුවන මෙවැනි ගැටලූවක් පවා විසඳා ගැනීමට වර්තමාන අමාත්‍යාංශ ශක්තිමත් වී නොමැති බව මෙයින් පෙනී යන ප‍්‍රධාන ගැටලූවකි. මෙවැනි තත්ත්වයන් තුළින් සිදු වන්නේ පවතින රජය මෙන්ම පාලක පක්ෂය පිළිබඳව ද ජනතාව තුළ අප‍්‍රසාදයක් පළ වීමයි. මේ දිනවල සෑම ප‍්‍රදේශයකම පාහේ ගොවීන්ගේ විරෝධතා ව්‍යාපාර දක්නට ලැබෙන අතර එම ගොවීන් දොස් පවරන්නේ ඔවුන් විසින්ම පත් කරගත් පාලකයන්ටය.
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප‍්‍රධාන ආහාරය බත්ය. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා ප‍්‍රචලිතය. ශ‍්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන්ම ආහාර භෝග වගාවෙහි ප‍්‍රධානතම භෝගය වී වශයෙන් හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම වී වගා කෙරේ. ඉන් විශාල පිරිසකට රැුකියා සපයා ඇත. එමෙන්ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිශ්පාදනයට එකතුව දශලක්ෂ 30,197 වූ අතර ප‍්‍රතිශතය 3.04% ක්වේ.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යක් වන බැවින් කෘෂිකර්මාන්තය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. එයින් ද රටට ප‍්‍රධාන ආහාරය සපයන වී ගොවියා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. වී වගාවට අවශ්‍ය ජලය, පොහොර, කෘමිනාශක හා අදාළ අස්වැන්න සඳහා ඉහළ මිලක් නියම කිරීම ද රජයක මූලික වගකීම විය යුතුය. ඒ සඳහා රජය නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. මෙම පොහොර සහනාධාර ගැටලූව මේතරම් උඩුදුවන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ ගොවියාට එම සහනාධාර ක‍්‍රමය නිසි පරිදි සන්නිවේදනය නොවූ බැවිනි. ගොවීන්ටද මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැත. රජය උත්සාහ ගන්නේ මේ මගින් රසායනික පොහොර භාවිතය අවම කොට කාබනික පොහොර භාවිතයට හුරු කිරීම විය හැකිය. නමුත් මෙම කාබනික පොහොර භාවිතය කඩිමුඩියේ සිදු කළ නොහැකිය. ගොවියන්ට ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලබා දී ක‍්‍රමයෙන් කාබනික පොහොර භාවිතයට හුරු කොට රසායනික පොහොර භාවිතය අවම කළ යුතුය. මෙම වවුච්චර්පත් ක‍්‍රමය මගින් ගොවියාට තමන්ගේ බෝගයට මෙන්ම පසට අවශ්‍ය පරිදි පොහොර වර්ගය ලබාගත හැකිය. මේ පිළිබඳව පාර්ශ්වයන් දෙකම නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළේ නම් මෙවැනි අර්බුදයකට ගොවියන්ට සහ රජයට මුහුණ පාන්නට සිදු නොවනු ඇත.

No comments:
Post a Comment